කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ SLYCAN Trust ආයතනය එක්ව කඩොලාන පැල 800 ක් මිහිකතට දායාද කරයි

August 20, 2021

ජාත්‍යන්තර කඩොලාන දිනය වෙනුවෙන්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ SLYCAN Trust ආයතනය එක්ව පසුගිය ජූනි 25 වන දින කඩොලාන පැල 800 ක් පුත්තලම දිස්ත්‍රික්කයේ මංගල එළිය ප්‍රදේශයේ දී රෝපණය කරන ලදී.  


මෙහිදී අදහස් දක්වමින් SLYCAN Trust ආයතන‍යේ මුල්‍ය සහ වැඩසටහන් අධ්‍යක්‍ෂක දමිත සමරකෝන් මහතා පැවසුවේ, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒවාට අනුවර්තනය වීමේදී කඩොලාන පරිසර පද්ධති වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්ය. එම නිසා මෙම වැදගත් පරිසර පද්ධති සංරක්‍ෂණය කිරීම සඳහා, SLYCAN Trust ආයතනය විසින්  කල්පිටිය සහ දික්ඕවිට ඇතුළු ශ්‍රි ලංකාවේ තෝරාගත් ස්ථාන කිහිපයක කඩොලාන සැලකිය යුතු ප්‍රමාණයක් සිටුවා ඇති බවය. තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ COVID-19 වසංගතය හේතුවෙන් අභියෝග හමුවේ වුවද, ශ්‍රී ලංකාවේ කඩොලාන ආවරණය පුළුල් කිරීමේ උත්සාහය අඛණ්ඩව කරගෙන යාමට SLYCAN Trust ආයතනය සමත් වූ බවය.


විශේෂයෙන්ම  දේශගුණික විපර්යාසයන් අවම කිරීමට සහ ඒවාට අනුවර්තනය වීමට අමතරව, කඩොලාන පරිසර පද්ධතීන් ජීවනෝපාය මාර්ග සංවර්ධනයට සහ ප්‍රජා සවිබල ගැන්වීමට මහඟු දායකත්වයක් සපයයි. එම නිසා මෙම කටයුතු සඳහා තරුණ ප්‍රජාවගේ සහභාගිත්වය ලබාගැනිමට සහ ඔවුන් දිරිමත් කිරීමට SLYCAN Trust ආයතනය අපේක්ෂා කරන අතර එම නිසාවෙන් හලාවත ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් මෙම කඩොලාන ප්‍රතිස්ථාපන  කටයුතු සඳහා අවශ්‍ය පැල ප්‍රමාණයක් මිලදී ගැනිමට SLYCAN Trust ආයතනය කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ නිල් කාබන් පරිසර පද්ධතිය ඉහළ නැංවීම සඳහා, දේශීය හා ජාතික මට්ටමින් කඩොලාන ප්‍රතිස්ථාපන හා සංරක්‍ෂණ ක්‍රියාවලිය දිරිමත් කිරීමට සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමට SLYCAN Trust ආයතනය විවිධ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටීයි.  විශේෂයෙන්ම මෙම ක්‍රියාවලියේදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි‍ය, වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,  SLYCAN Trust ආයතනය සමඟ  එක්ව මෙම කඩොලාන ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය සාර්ථක කරගැනිමට ඉමහත් දායකත්වයක් සපයනු ලැබීය.


සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වූ නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ කඩොලාන ආවරණය වැඩි කිරීම සඳහා වන සාමූහික ප්‍රයත්නය වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කිරීම පිළිබඳව   SLYCAN Trust ආයතනය වෙත සිය ස්තුතිය පළ කළහ.  මෙම අවස්ථාවට සහභාගි වෙමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි‍යේ දිස්ත්‍රික් පරිසර නිලධාරිනි ප්‍රියංගා සමරසේකර මහත්මිය පැවසුවේ,  මෙරට කඩොලාන ආවරණය ඉහළ නැංවීමට සහ කඩොලාන ප්‍රතිස්ථාපනයට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි‍ය විසින් කටයුතු සිදු කරමින් සිටින බවය. එම උත්සාහයන් තවදුරටත් ඉහළ නැංවීම සඳහා SLYCAN Trust ආයතනයේ මැදිහත්වීම ඉතා  කාලෝචිත පියවරක් බව තවදුරටත් ඇය පැවසුවාය.


මෙම කඩොලාන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය  මිට්සුබිෂි සමාඟමේ සහය ඇතිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ  මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් සිදු කරන ලදී. මෙම ක්‍රියාවලියට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි‍යේ උපදේශනය මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දායකත්වය, SLYCAN Trust ආයතනය වෙත ලැබීම මෙම කඩොලාන ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය සාර්ථක කරගැනිමට ඉවහල් විය.


Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
No items found.