හැදින්වීම

ඔබේ ආහාර දේශගුණයට කෙතරම් හිතකරද? ඇත්තටම ඔබේ ආහාරවේල දේශගුණික හිතකාමී වෙන්න ඕනද? මේ ඔබ මීට පෙර නොඇසූ කථිකාවතක් විය හැකියි. එහෙත් ඔබට ඔබගේ ආහාර වේලෙන්ම දේශගුණික හිතකාමී පරිසරයක් ගොඩනැගීමට දායක විය හැකියි. ඒ නිසා ආහාරවේල දේශගුණික හිතකාමී කරගන්නෙ කොහොම ද කියලා දැනගන්නත් ඒ සඳහා ආරම්භයක් ගන්නත් මේ කතාබහ ඔබට බොහෝ වැදගත් වනු ඇත.

SLYCAN Trust ආයතනයේ නවතම වැඩසටහනක් වන ClimaComms හි CLIMATE 2.0 වැඩසටහන් මාලාවේ තවත් එක් පරිච්ඡේදයක් පසුගිය ජුනි මස 18 වැනිදා කොළඹ 05 රන්බත් අවන්හලේ දී පැවැත්විණි. “දේශගුණික හා පරිසර හිතකාමී ආහාර පරිභෝජනයේ වැදගත්කම” මැයෙන් පැවති මෙම කතාබහට ශාකමත පදනම් වූ ආහාර වැදගත්කම ප්‍රවර්ධනය කරන Meatless Monday Sri Lanka වැඩසටහන ද එක් විය. 

 

ශ්‍රී ලංකාවේ ශාකමත පදනම් වූ ආහාර විකල්ප මොනවාද?

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා දේශගුණික විපර්‍යාස බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවන් වීමත් සමඟම හරිතාගාර වායු පරිසරයට මුදාහැරීම අවම කිරීම පිළිබඳව විවිධ අංශ ඔස්සේ කතා බහට ලක් වේ. මේ නිසාම බොහෝ දෙනෙක් දැනටමත් තිරසාර හා දේශගුණ හිතකාමී ආහාර පද්ධති වලට යොමුවෙමින් සිටිති. මෙලෙස බොහෝ දෙනා ගෝලීය මෙන්ම දේශීය වශයෙන් තිරසර විකල්පයන්ට යොමුවීම පැසසිය යුතු ය.

දේශගුණ හිතකාමී හෝ පරිසර හිතකාමී ආහාර ගත්කල, ශාකමත පදනම් වූ ආහාර වලට විශේෂ ස්ථානයක් හිමිවේ. බොහෝ සත්ත්ව පාදක ආහාර වෙනුවට, ශාක පදනම් කරගත් විකල්ප භාවිතය දැන් ලෝකයේ ඇතැම් රටවල ජීවන රටාවට බද්ධ වී තිබේ. 

උදාහරණයක් ලෙස, ටෝෆු වැනි ශාකමත පදනම් ආහාර ද ආමන්ඩ් සහ සෝයා කිරි ද ඉතා ප්‍රචලිත ආදේශක ලෙස භාවිත වේ.මෙම විකල්පයන් සෞඛ්‍ය සම්පන්න මෙන්ම පරිසර හිතකාමී වේ.එසේම තිරසාර සහ දේශගුණයට හිතකර ආහාර තෝරා ගැනීම් කරා ගමන් කිරීමේදී මේවා ඉතා හොඳ විකල්පයන් වේ.

ගෝලීය තත්ත්වය මෙම ආකාරයෙන් පැවතියත්, ශ්‍රී ලංකාවේ ආහාර පුරුදු සහ රටාවන් පෙර සිටම පරිසරයට හිතකර අයුරින් නිර්මාණය වී තිබීම අප අගය කළ යුතුය. අපගේ ගෙවතු වල වැවෙන කොස්, දෙල් වැනි ආහාර පෙර පටන්ම අපගේ ආහාර රටාවන් වලට එකතු වී ඇත. එසේම දේශීයව හමුවන ඉන්අල, බතල, මඤ්ඤොක්කා වැනි අල වර්ග අපගේ ආහාරයට එක්කර ගතහැකි සුලබව හමුවන පෝෂණ ප්‍රභවයන් වේ. 

අපගේ ආහාර වේලට ශාකමත පදනම් වූ ආහාර එක් කර ගන්නේ කෙසේද?

බොහෝ දුරට ශාක මත පදනම් වූ ආහාර ගුණාත්මක බවින් පොහොසත් වූව ද ඒවා රසයෙන් පොහොසත් නොවන බව බොහෝ දෙනාගේ මතයකි. මෙම කතාබහේ දී හෙළි වූ ආකාරයට ශාකමත පදනම් වූ ආහාර රටාවට බොහෝ දෙනෙකු මැලිවන්නේ මෙවැනි හේතු නිසාය. එහෙත් ගුණාත්මක බවින් මෙන්ම පරිසර හිතකාමී බවින් වැඩි බොහෝ ආහාර රසවත්ව පිළියෙල කර ගැනීමේ හැකියාව තිබේ. මේ නිසා මුලදී ශාකමය ආහාර ඉතා කුඩා ප්‍රමාණයක් ඉතා රසවත්ව ඔබගේ දෛනික ආහාර වේලට එක්කර ගැනීමෙන්  ශාකමත පදනම් වූ ආහාර රටාවකට ක්‍රමයෙන් යොමුවීම පහසු කරනු ඇත.

'කොහිල, නෙළුම් අල වැනි අපට දේශීයව හමුවන ආහාර වර්ග එතරම් ජනප්‍රිය නෑ. ඒ උනාට මේවා ඉතා රසවත්ව පිසගන්න  පුලුවන්. ඒවා පිළියෙල කරන ආකාරය අනුව එහි රස වෙනස් වෙනවා. ඒ වගේම ආහාරයට ගැනීමේ රුචිය වැඩි වෙනවා'. මේ අපේ ඉහත කතාබහට එක් වූවෙකුගේ අදහසකි.

අපගේ EthicalX වැඩසටහනේ ක්‍රියාකාරී සාමාජිකාවක වන චාමිනී උඩුපිහිල්ල ඇයගේ ශාක මත පදනම් වන ආහාර නිෂ්පාදනයන් සඳහා ශාක මත පදනම් වූ ආහාර සංකල්පය උපයෝගී කරගන්නා ආකාරය විස්තර කළාය.  මේ පිළිබඳව මෙම කතාබහට එක්වූ සියලුදෙනාගේ මෙන්ම පැමිණි සිටි සියලුදෙනාගෙත් විශේෂ අවධානයක් යොමු වීම විශේෂත්වයකි.

ශාකමත පදනම් වූ ආහාරවලින් අපට ලැබෙන පෝෂණය

අපගේ පෝෂණ අවශ්‍යතාවන් හමුවේ ක‍්ෂුද්‍ර පෝෂක ඉතා වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි. එමනිසා දෛනික ආහාර වේලෙට ක්ෂුද්‍ර පෝෂක ඇතුළත් කරගැනීම ඉතා වැදගත් වන අතර, ශාක පදනම් කරගත් විකල්ප මෙම පෝෂ්‍ය පදාර්ථ වලින් පහසුවෙන් සපයාගත හැකි වේ. උදාහරණයක් ලෙස, නිවිති ගන්න. එවැනි කොළ පැහැති කොළ යකඩ සහ කැල්සියම්  වලින් අනූන වේ.  එසේම අපට ගෙවත්තේ වගා කළ හැකි මුකුණුවැන්න, කතුරුමුරුංගා වැනි කොළ වර්ගද මෙම පෝෂක වලින් අනූන වේ. එමගින් වස විස වලින් තොර ආහාර වේලක්  ලබා ගැනීමට ද අපට අවස්ථාව උදාකරයි. 

දේශගුණික හිතකාමී ආහාර රටාවකට හුරුවෙමු

දේශගුණික හිතකාමී ආහාර පද්ධති යනු නිර්මාංශ හා ශාකමත පදනම් වූ ආහාර පරිභෝජනය කිරීමට එහා ගිය සංකල්පයකි. එය තිරසාර ඇසුරුම්, ආහාර නාස්තිය අවම කිරීම සහ දේශීයව වැවෙන එළවළු හා පළතුරු පරිභෝජනය කිරීමද ඇතුළත්  පුළුල් පරාසයක විහිදී ගිය ජීවන රටාවකි. එවැනි ආහාර පුරුදු මගින් අපගේ ආහාර සැපයුම් දාමයේ කාබන් පාද සටහන (carbon footprint) අවම කර ගැනිමටත් ඊට දායක වීමටත් අපට හැකිවේ.

 "අපගේ සාමාන්‍ය ගනුදෙනුකරුවන් තමන්ගේම ලන්ච් බොක්ස් එකක් අරගෙන එනවා, එය අපටත් පහසුවක්, පරිසරයටත් හානියකුත් නෑ "  අප සාකච්ඡාවට එක්වූ රන්බත් (Ranbath Organics) ආයතනයේ සම අධ්‍යක්ෂිකා රන්දිමා බාලසූරිය මහත්මිය පැවසුවාය. සිය පාරිභෝගිකයන් පරිසරයට හිතකාමී මෙවැනි ක්‍රියාවන්ට යොමුව සතුටට කරුණක් බව ඇය සිහිපත් කළාය.

පින්තූරය 1 : වැඩසටහනට සහභාගී වූවන් අදහස් දක්වමින්

දේශගුණ හිතකාමී ආහාර රටාවන් ගැන දැනුවත් වෙමු.

ශ්‍රී ලංකාව තුළ දේශගුණයට හිතකර ආහාර පද්ධති පිළිබඳ දැනුම සපයන මාධ්‍ය මූලාශ්‍ර ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි.  එසේ වුවද අපි ඔබව අඛණ්ඩව දැනුවත් කරමින් සිටිමු. මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ තවත් තරුණියක පවසා සිටියේ ඇය වසර කිහිපයක සිට නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරන බවයි. 

'අපි බොහෝ විට ආහාරයට ගන්නෙ ගෙවත්තේ වැවෙන එළවළු, පළතුරු සහ පලා වර්ග. ඒවලින් හදන කෑම වර්ග මම මගේ සමාජ මාධ්‍යට එකතු කරනවා.  ඒ වගේ අවස්ථා වලදී බොහෝ දෙනෙකු මගෙන් ඒවා පිළියෙල කරගන්නා  ආකාරය විමසනවා. එවැනි  අවස්ථාවල මට හැකි ආකාරයෙන් මම ඔවුන්ව දැනුවත් කරනවා.'යැයි ඇය කීවාය.

මෙවැනි වැදගත් පණිවිඩ සමාජයට ගෙන යෑම සමාජ මාධ්‍යයේ වගකීමක් බවත් මෙවැනි වැඩසටහන් තුළින්ද එය බලගැන්විය හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.

ශාකමත පදනම් වූ ආහාර නිෂ්පාදන පහසුවෙන් සොයාගත නොහැකි බව බොහෝ දෙනෙකුගේ මතයකි. එසේම දැනට පවතින නිෂ්පාදන අධික මිලකින් යුතු බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. අපගේ කතාබහට එක්වූ තරුණ තරුණියන් කිහිප දෙනෙක්ම ශාකමත පදනම් වූ අහාරවල හිඟයක් පවතින බවත් මේ නිසා එම ආහාර නිෂ්පාදනවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් කියා සිටියහ. 

එහෙත් දේශීයව සපයාගත හැකි ආදේශක එක්කර ගැනීමෙන් මෙම තත්ත්වය අපට මඟහරවා ගත හැකි ය. උදාහරණයක් ලෙස,ඕළු ඇට සහල්, දේශීයව වැවෙන බිම්මල් වර්ග ඉතා ප්‍රචලිත වෙමින් පවතින පෝෂණ ප්‍රභවයන් වේ.එසේම අප කතා බහේදී ඉස්මතු වූ තවත් කරුණක් වන්නෙ කඩල වැනි ධාන්‍ය වර්ගද ඉතා හොඳ ශාකමය ආදේශක බවයි.

ග්‍රාමීය ප්‍රදේශවල මෙම ආහාර වර්ග වඩාත් සුලබව දක්නට ලැබෙන අතර ග්‍රාමීය ජනතාව අතර මෙවැනි ආහාර වඩාත් ප්‍රචලිතව පවතී. මෙම ආහාර වර්ග පිළිබදව දැනුවත්ව සිටීමේ වැදගත්කම පිළිබඳව පැමිණ සිටි පිරිස සාකච්ඡාවට ලක් කළ අතර මේ පිළිබඳ දැනුවත් කිරීම් සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළින් ආරම්භ කළ හැකි බවත් තවත් විධික්‍රමයක් ලෙස මිතුරන් ඔස්සේ ප්‍රචාරය කළ හැකි බවත් පැවසූහ.

දේශගුණ හිතකාමී ආහාර රටාවන්ට හුරුවීම තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඔබට උරුමවන අතර එය තවත් පැත්තකින් දේශීය ආර්ථිකය ප්‍රවර්ධනයට දායක වීමකි.එම නිසා ඔබටත් ඔබේ පවුල මෙන්ම මිතුරන් ඔස්සේ මේ පිළිබඳව දැනුවත් කිරීම ආරම්භ කළ හැකිය. 

ශාක මත පදනම් වූ සහ දේශගුණයට හිතකර ආහාර රටාවන්ට යොමු වීම පිළිබඳ ඔබේ අදහස්, අත්දැකීම් බෙදාගැනීමට අපත් සමඟ එක්වන්න. ඔබගේ ප්‍රයත්නය නිරෝගී දිවියකට අත්වැලක් වනවා මෙන්ම පරිසර හිතකාමී අනාගතයකට මඟපාදනු ඇත.

 

පින්තූරය 2:වැඩසටහනට සහභාගී වූවන්ට රන්බත් අවන්හලෙන් පිළියෙල කර තිබූ ශාකමත පදනම් වූ ආහාර වේල

SLYCAN Trust යනු දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය, ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති සංරක්ෂණය, සත්ව සුභසාධනය, සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ තරුණයන් සවිබල ගැන්වීම ඇතුළු සමාජ සාධාරණත්වය පිළිබඳව කටයුතු කරන ලාභ නොලබන පර්‍යේෂණ ආයතනයකි.තවද,  SLYCAN Trust හි කාර්‍යභාරය ජාතික, කලාපීය සහ ගෝලීය මට්ටම් දක්වා ප්‍රතිපත්ති විශ්ලේෂණය සහ සාක්ෂි පදනම් කරගත් පර්යේෂණයන් ගෙන් සමන්විත වේ.

Related Articles

Thematic Areas

Tags

About the Author
Thilini Gunathilake

Thilini works as a Research and Programme Officer at SLYCAN Trust, and works on thematic areas of climate change, mangroves, and agricultural insurance. Her areas of interest include coastal ecosystems and climate change. Thilini has a BSc in Fisheries and Marine Sciences from the Ocean University of Sri Lanka. She has a diploma in Information Technology and E-Commerce from the Esoft Metro Campus. She also completed an 8-week internship in the Marine Biological Resources Division at the National Aquatic Resources Research and Development Agency (NARA). Her experience in fisheries, coastal sciences, ocean sciences, and seafood technology led her to publish her first research paper at the Ocean University of Sri Lanka.